Wednesday, September 16, 2009

මරණයේ අත්දැකීම ස්පර්ශ කලෙමි.

2007 සැප්තැම්බර් මස 27 ව දිනදා වෙනදා මෙන් යාපනයේ චුන්නාකම් ප්‍රදේශයට අරුණ උදාවිය.එදිනද වෙනදා මෙන්ම දීප්තිමත් දිනයක් විය. මා උදෑසනින් අවදි වී දෛනික රාජකාරි සදහා පොලිස් ස්ථානයට පැමිණියෙමි. මා පාලන අංශයට රාජකාරි සදහා අනුයුක්තව සිටියද මාවෙත පැවරෙන ඕනෑම රාජකාරි කටයුත්තක් නොපිරිහෙලා ඉටු කිරීමට පොලිස් සැරයන් වරයෙක් වශයෙන් සූදානමින් සිටියෙමි.

මාහට නියමිත දෛනික රාජකාරිවල නිරතව සිටියදී පැමිණි වැඩබලන ස්ථානාධිපතිවරයා පෙර දින රාත්‍රි බූස්ස රැදවුම් කදවුරේ අධ්‍යක්ෂතුමාගෙන් ලද දුරකථන පණිවිඩයක් පරිදි චුන්නාගම් පොලිස් බල ප්‍රදේශයේ පදිංචිව සිටි ත්‍රස්තවාදි සැකකරුවකු සම්බන්ධයෙන් නොපමාව විමර්ශනය සිදු කර වාර්තාවක් සැපයීමට නියෝග ලබා දෙන ලද අතර ඒ සදහා සහායට නිළධාරීන් කීපදෙනෙක්ද ලබා දෙන ලදී. එදින වන විට පොලිස් රියදුරු නිවාඩු ලබා පිටව ගොස් සිට හෙයින් ජිප් රථයේ පැදවීමේ කාර්යයද මා වෙත පැවරුණි. මෙහෙයුම් කලාපවල පිටත රාජකාරි සදහා යනවිට වාහන දෙකක් එකවිට යායුතු වුවද රියදුරන්ගේ හිගය නිසා තනි රථයකින් ගමන් කිරීමට එදින සිදුවිය. අවදානම කෙතෙක් වුවද පැවරූ රාජකාරිය ඉටු කිරීමේ වගකීම බලවත්විය. මා නිළධාරීන්ට උපදෙස් ලබා දී විමර්ශන කටයුතු සදහා ජිප් රථය පිටත්ව ගියෙමි.

සැකකරු සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමට ඔහු පදිංචි ස්ථානයට යාමට පෙර එම ප්‍රදේශයේ පුද්ගලයකු සොයා ඔහු මාර්ගයෙන් සැකකරු සම්බන්ධව මූලික තොරතුරු හැකි පමණ රැස්කර ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු ඇරඹීම මාගේ අරමුණ වූ අතර ඒ සදහා හොදම ස්ථානය වශයෙන් චුන්නාකම් දිනපතා පොළ තෝරා ගතිමු. එයට හේතුව පොලිස් බලප්‍රදේශය තුල වූ සෑම ගමකම අය නිතර පොළ වෙත පැමිණීමයි.

අප ගමන්කල රථය මා පැදවූ අතර චුන්නාකම් බස් නැවතුම්පොළ දෙසින් දිනපතා පොළට ඇතුල්වන මාර්ගයට රථය ධාවනය කර ප්‍රාදේශීය සභාවෙන් පාලනය වන පාපැදි ගාල අසළ රිය නවතා නිලධාරීන්ට ආරක්ෂක ස්ථානවලට ගොස් ආවරන ලබා ගැනීමට උපදෙස් දුනිමි. එම ස්ථානයේ පාපැදි ගාලේ භාරකරුද පාපැදි කරුවන්ද නිදහසේ කටයුතු කල අතර ජිප් රථයට දකුණු පසින් දිනපතා පොළේ දොරටුව අසලද මිනිසුන් නිදහසේ ගැවසෙනු දැකීම නිසා බැලූ බැල්මට සැකයක් ඇති නොවීය. එහෙත් මා ජිප් රථයෙන් බැස අවට බැලීමේදී මා සැකකර සිටි දිනපතා පොළේ සිටින වෙළෙන්දෙක් දක්නට නොසිටි හෙයින් එම ස්ථානයේ කුමක් ‍‍ හෝ සිද්ධියක් සිදුවේ යැයි අනුමාන කලෙමි. එම අය සැක කිරීමට හේතුව වූයේ අනෙකුත් වෙළෙන්දන් හා අප හිතවත්වීමට උත්සාහ කලද ආරක්ෂක අංශ සාමාජිකයන් ඉතා උනන්දුවෙන් ඇසුර අපේක්ෂා කිරීමයි. එල්.ටී.ටී.ඊ නොවන ද්‍රවිඩයන් ආරක්ෂක අංශ ඇසුරු කලහොත් ඔත්තුකරුවන් සේ සලකා එම සංවිධානය විසින් ඝාතනය කිරීමට ලක්වන හෙයින් එයට ඇති භීතිය හේතුවී තිබේ. එසේ බිය නොමැතිව ආරක්ෂක අංශ ඇසුරට ඉදිරිපත් වන්නේ එම සංවිධානයේ ක්‍රියාකාරී ප්‍රබලයන් පමණි.

කෙසේ හෝ මාගේ සිතට ආ සැකය වූයේ සැගවී සිට එල්ල කරනු ලැබිය හැකි වෙඩි ප්‍රහාරයක් හෝ අත් බෝම්බ ප්‍රහාරයකට ලක්වීමට හැකි බවයි. එය වළක්වා ගැනීමට හා ප්‍රහාරයක් එල්ල වුවහොත් නිලධාරීන්ට අවම හානියක්වීම සදහා නිලධාරීන් ජිප් රථයට නොගෙන එම ස්ථානයේ යාබදව පිහිටි හමුදා මාර්ග බාධක මුරපොළ අසලට ගෙන යාමට සිතා නැවත රථයට ගොඩවීමට සූදානම් වන විටම අනපේක්ෂිතව මා කිසි දිනක නගරයේදී දැක නොමැති උඩුකය නිරාවරණය වූ සරමක් පමණ හැද සිටි වයස අවු. 70 ක් පමණ වයස් ගත පුද්ගලයෙක් පැමිණ දෙමළ භාෂාවෙන් යමක් පවසන ලදී. නමුත් ඔහු පැවසූ දේ අවබෝධ කරගත නොහැකි විය. ඒ බව ඔහුට පැවසීය. ඔහු මාගේ දෙපා අල්ලා ගෙන බිම වාඩිවී ඔහුට හිරිහැර කරන කොළුවන් මාළු මාකට් එක අසල සිටින බවත් ඔවුන් අල්ලා දීමට එන ලෙසත් ත්‍රස්ත සංඥා මගින් ප්‍රකාශ කලා. එම මහළු තැනැත්තා පෙන්වූ ස්ථානයේ තරුණ ගැටවුන් 10 ක් 15 ක් පමණ අප දෙස බලා සිටිනු දුටුවෙමි. එවිට මාගේ සිතට නැගුනේ සැක කටයුතු වෙළෙන්දා විසින් සැලසුම් කර ඇති ක්‍රියාදාමයක කොටසක් මෙය විය හැකි බවයි. මා ඔහු සමග ජිප් රථය තනිකර ගියවිට කාන්දම් බොම්බයක් ජිප් රථයට සවි කිරීමට ඉඩ ඇති බව මා තුළ ක්ෂණික සැකයක් ඇතිවිය. මා එම තැනැත්තාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කලෙමි. එහෙත් එම තැනැත්තාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කලෙමි. එහෙත් එම තැනැත්තා නැවත නැවතත් තරුණයන් අල්ලා දීමට ඔහු සමග පැමිණෙන ලෙසට ඇවිටිලි කරන ලදී. වයස්ගත තැනැත්තෙකු බැවින් ඔහුට බලය යොදවා එම ස්ථානයෙන් ඉවත් කිරීම නොගැලපේ යැයි සිතු මම ඔහු නොසලකා හැර ජිප් රථයේ පිටිපස දෙසට ඇවිද ගියෙමි. ඒ අවස්ථාවේ සෙනග පුරවාගත් පුද්ගලික බස් රථයක්ද පැමිණ ජිප් රථය ආසන්නයේ නවතා සෙනග බස්සමින් සිටින ලදී. පෙර කී තැනැත්තා මා පසු පසින් දුවවිත් ඉදිරියට පැණ දණ ගසා මා හට වැද ඉහත කී කොළුවන් අල්ලා දීම සදහා එන ලෙසට නැවතත් ඉල්ලීමක් කරන ලදී. එවරද ඉල්ලීම ප්‍රතික්ෂේප කල මා ඉවත්ව යාමට සූදානම් වීමේදී ඔහුට කුසගිනි බව හගවා දුරක ඇති කඩයක් පෙන්නා එයින් කෑමට යමක් රැගෙනවිත් දෙන ලෙසට ඉල්ලීමක් කරන ලදී. මා අත තිබූ මුදලක් ඔහුට දී එයින් ආහාර ගන්නා ලෙසට දැනුම් දුනිමි. එම මුදල් ලබාගත් තැනැත්තා දොහොත් මුදුන් දී පින් දෙන ලදී. එම අවස්ථාවෙන් ප්‍රයෝජනගත් මා ඔහුගෙන් මිදී ඉතා ඉක්මනින් ජිප් රථය අසලට පැමිණියෙමි.

ඉතා ඉක්මනින් ජිප් රථය ඉවත් කිරීමේ අදහසින් රථයට ගොඩවීමට ඉදිරි දොර විවෘත කිරීමට සැරසෙනවාත් සමගම මුළු පළාතම වැසී යන සේ විශාල දූවිලි වලාවක් ඇතිවූ අතර ඒ අතරින් කුඩා කැබලි පාවී එනවා ‍මෙන් දැනුණි. මේ දර්ශනයත් සමග සිදුවූයේ කුමක්දැයි සිතා ගැනීමට නොහැකි විය. බෝම්බයක් පිපිරුන බව සැකයක් හෝ සිතීමට නොහැකි වූයේ ඉතා සුළු පිපිරුම් ශබ්දයක් හෝ නොඈසුන නිසාය. එහෙත් මාහට කුමක් හෝ දෙයක් සිදුවී ඇති බව ක්ෂණිකව හැගී ගිය හෙයින් මාගේ සිරුර දෙස බැලීමි. මාගේ පාද පඩරැල් මෙන් වැනෙනවා දුටු අතර ඒ සමගම මා ඇද වැටුණි. මා නැගීමට උත්සාහ කලද අපහසුවිය. අපහසුවෙන් දෙපා දෙස බැලීමේදී අමු කෝටුවක් නවා කැඩීමේදී කීරි ගැසී කැඩෙන්නාක් මෙන් දෙපාවල අස්ථි බිදී එළියටවිත් තිබෙනවා හා මස් වැදලි විසිරී තිබෙනවා දුටුවෙමි. එම දර්ශනයත් සමගම මා නැවත ඇවිදයාමේ අදහස අතහැරියෙමි. මා වැටී සිටියද තාම මාහට සිදුවූ දේ අදහා ගත නොහැක. තප්පර ගණනකට පසු මාහට විශාල විලාප හඩක් ඇසිණ. මා ඒ දෙසට හිස හරවා බැලුවෙමි. බස් නැවතුම තුල තිබූ බස් රථයෙන් බසිමින් සිටි ගැහැණු, පිරිමි හා ළමුන් සුලි සුළගකට හසුව තැලී ගිය කෙසෙල් ගස් මෙන් බිම වැටී දගලමින් විලාප දෙමින් සිටිති. කුමක් හෝ විශාල දෙයක් සිදුවී ඇතැයි සිතා ගතිමි. සුළු වේලාවකින් මා වැටී සිටි ස්ථානයට පැමිණ සහෝදර නිලධාරීන් මා ඔසවා ගනිද්දී බිදීගිය ඇට කැබලි එකට එක ගැටීමේදී ජීවිතයේ ලද විශාලම වේදනාව අත් විදිමි. ජීවිතයේ කිසි දිනක නොලද දිය පිපාසයක් ද ඒ සමග ඇතිවිය. මා මේ සිද්ධියෙන් මිය නොයන බවත් ඉක්මනින් රෝහලට යවා කකුල් දෙක ඉවත්කර හෝ නිවසට යැවීමට කටයුතු කරන ලෙස‍ට ඉල්ලා සිටියේ දරුවන් දෙදනා, බිරිද හා ‍ දෙමාපියන් දැක ගැනීමේ දැඩි ආශාව නිසාය.

සහෝදර නිලධාරීන් විසින් 513 බල මූළස්ථානයේ වෛද්‍ය අංශය වෙත යොමු කල අවස්ථාව හා එහිදී එන්නතක් ලබා දෙන මතකයෙන් පසු කිසිත් මා දන්නේ නැත. වැඩිදුර ප්‍රතිකාර සදහා ජාතික රෝහලට යොමු කර තිබූ බව දැන ගතිමි. ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ වෛද්‍යවරුන්ගේ දැඩි කැපවීම මත රාත්‍රි 7.00 සිට අලුයම 3.00 දක්වා එතුමන්ලා ගන්නා ලද අප්‍රතිහත උත්සාහයේ ප්‍රතිඵලයක් මත මාගේ හදවත නැවත පණගන්වා දැඩි සත්කාර ඒකකය වෙත යොමු කර ප්‍රතිකාර ලබා දී ඇති අතර දින කිහිපයකට පසු සිහිය ලැබූ බව දැන ගතිමි. මා සිහිය ලැබීමට ආසන්නව දුටු සිහිනයක් හා සිහිය ලද විට වෙද්‍යවරයකු පවසන ලද දේ ද මෙන් සිහිපත්වේ.

මා දුටු සිහිනය නම් අනතුර සිදුවූ ස්ථානයේ තිබූ කුඩා ගසකට එපිටින් හිරැ උදාවනවිට දක්නට ලැබෙව ආලෝක කදම්බයක් අතර මා සිටිනවා මෙන් දැනුන අතර සිද්ධිය වූ ස්ථානයේ අනතුරට පත් ජිප් රථයත් ඒ අසළ කාකි ඇදුමක් ඇද ගත් අයකු වැටී සිටිනවා දුටුවෙමි. මාහට සිතුනේ අනතුර සිදුව ඇත්තේ මාහට නොව වෙනත් අයෙකුට බවය. මාහට ගෙදර යාමට පුළුවන් බවත්ය. මේ සිතුවිල්ලේ සිටිනවිට මාගේ අතට කිසිවකු සෙමින් තට්ටු කරමින් මිස්ටර් හේරත් ..මිස්ටර් හේරත් කියා අමතනු ඇසුණි. මා සෙමින් ඇස් ඇර බලනවිට වයස අවු.55 ක් පමණ වූ වෛද්‍යවරයකු දුටු අතර මිස්ට හේරත් ඔයා දැන් ඉන්නේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ. යාපනේ සිද්ධියක් නිසා ඔයාට තුවාල වෙලා. ඔයාගේ ජීවිතය සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම අපි භාර ගන්නවා. ඉක්මනින් සනීප කරලා ගෙදර යවනවා. එයින් පසු කිසිත් මතක නැත. වරින් වර සිහිය ලබමින් සිටි මා වෛද්‍ය ප්‍රතිකාරයන්ට පින් සිදුවන්නට සුවය ලබා බිරිද දියනියන් දෙදෙනා හා දෙමාපියන් ඇසුරට එක්වීමේ භාග්‍ය ලැබිණි. මේ සිද්ධිය මිය ගොස් නැවත මා ඉපදීමක් සේ සලකමි.

සිහිය ලද පසුව අතීතය ආවර්ජනය කලෙමි. වයස්ගත පුද්ගලයා ගැන විපරම් කලෙමි. ඔහුද බෝම්බ ප්‍රහාරයෙන් එම ස්ථානයේම මිය ගොස් ඇති බව දැන ගතිමි. ඔහු මාගේ දෙපා වැද කියන්නට ඇත්තේ එම ස්ථානයේ නොසිට ඉවත්ව යන ලෙසට හෝ දුරස්ථ පාලකය අත තිබූ අය අල්ලා දීමට ඔහු සමග ඒමට කියා විය හැක. භාෂාව තේරුම් ගැනීමට නොහැකිවූ හෙයින් අනතුරින් බේරීමට නොහැකිවීම ගැනත් අපරාධයක් වලක්වා ගැනීමටත් නොහැකිවීම ගැනත් කණගාටුවෙමි. එහෙත් ප්‍රමාදවූවා වැඩිය. කෙසේ හෝ මා වෙනුවෙන් වෙහෙසව බෝම්බයට දිවිදුන් නාදුනන වයස්ගත ද්‍රවිඩ මහතාට මින් මතු මෙවන් අනතුරක් නොවේයායි ! පතමි.

එසේම මා පුපුරා ගිය බෝම්බයට ඉතාම ආසන්නයේදී ප්‍රහාරයට ලක්වී දිවි බේරා ගැනීමට හැකිවීමත් හිසට හා පපුවට වැදී තිබූ බෝම්බ කොටස්වලින් විශාල හානියක් සිදු නොවීමත් අධික රුධිර වහනය හේතුවෙන් හෘදය අකර්මන්‍යවී පැය ගණනක් ගත වුවද ජීවිතයට හානියක් සිදු නොවීමත් අනුව කිසියම් අදෘෂ්‍යමාන බලවේගයක් මගින් මා ආරක්ෂා කරන්නට ඇතැයි විශ්වාස කරමි.

පා අහිමි වූ මා දෛනික කටයුතු පවා කර ගත නොහැකිව අසරණ තත්වයට පත්ව ඇති අතර රටට ප්‍රදේශයට ආරක්ෂාව සැපයීමට කැපවී කටයුතු කලද දැන් දරුවන් දෙදෙනාටවත් නිසි ආරක්ෂාව ලබාදීමට නොහැකි තත්වයට පත්ව සිටිමි.

මෙසේ නිවසට වී සිතේ තිබූ අභිමාකය හීනව සිටි අවස්ථාවක මා මෙන්ම ආබාධිත තත්වයේ පසුවන උ.පො.ප ප්‍රදීප් ද සිල්වා මහතා විසින් එතුමා ස්වෝත්සාහයෙන් ප්‍රගුන කල පරිගනක දැනුම උපයෝගී කරගෙන ආබාධිත නිලධාරීන් වෙනුවෙන් සැලසුම් කල අන්තර්ජාල පරිශීලනය හා පරිගණක පුහුණු පාඨමාලාව පවත්වන ලද අතර එයට සහභාගී වී මාගේ දැනුම දියුණු කර ගතිමි. ඇවිදීමට නොහැකිව බාහිර සමාජයේ හා ඇසුරින් ඈත්ව සිටි මා අන්තර්ජාලය මගින් ලෝකය හා සම්බන්ධවීමට මාර්ගය විවර කර ගතිමි. එමගින් ඵලක් නොමැතිව ගත කල කාලය ප්‍රයෝජනවත් කාර්යයකට යොමු කිරීමේ හැකියාව ලද අතර එයින් දැඩි මානසික තෘප්තියක් ලද බව ඉතා සතුටින් ප්‍රකාශ කරමි.

එච්.එම්.යූ.එස්.බී.හේරත්

118, රජ සිරිල,

බක්මීගොල්ල,

ඉබ්බාගමුව.

060 - 2972612

071 - 4461744

No comments:

Post a Comment